top of page
Search

රාවණාටත් , සීතාටත්, රාමාටත් වැරදුන තැන. ආදරය!



රාමායණය ගැන කියන්න කලින් ඒක ලියපු කෙනා ගැන කියන්න ඕනි කියලා හිතුනා. රාමායණය ලියන්නේ වාල්මිකී. වාල්මිකී වෙන්න කලින් රත්නකාර. කැළේ අතරමන් වෙලා ඉද්දි දඩයක්කාරයෙක් තමන්ගේ ළමයෙක් වගේ අරන් හදාගන්නේ ළමයා හොර කල්ලියක සාමාජිකයෙකුත් කරන ගමන් (dacoit and robber). එහෙම බලද්දී වාල්මිකී කියන්නේ හොරෙක්. දවසක් මහාරිෂි නාරදව කොල්ලකන්න හදන රත්නකාරගේ ජිවිතේ බ්‍රහක්මරාශි වාල්මිකී ලෙස දෛවොපගත වෙනස්කමකට භාජනය වෙනවා. වාල්මිකී ගැන වෙනම කියන්නම්, එත් මට කියන්න ඕනි කරේ මනුස්සයෙක් යම් තත්වෙක සිටීද එසේ සිටීමට හේතුපාදක වූ බැලු බැල්මට තවකෙකුට නොපෙනෙන හේතු තිබිය හැකි බවත්, මනුස්සයෙකුගේ වැඩි දියුණුවට ඇසුර යන කාරණය සුළුපටු ලෙස සැලකිය නොහැක්කක් බවත් (උදා ;- ගිරා පෝ තක ජාතකය), මනුස්සයෙක්ගේ වත්මන් තත්වය කෙසේ වුවද ඔහුගේ අනාගත තත්වය විපර්යාසයකට බඳුන් විය හැකි බැවින් හොරෙකු වුවද අවතක්සේරු කිරීම නුවනට එතරම් හොඳ නොමැති බවයි.


ඉන්දියාවේ රාමා සීතා ප්‍රේම කතාව ගැන කතා කරන්නේ දේවත්වයෙන් වගේ. ඉතිහාසයේ මේ ප්‍රේම කතාවේ හැටියට රාවණා තාමා දුෂ්ටයා. රාමා කියන්නේ සීතා බේරා ගත් වීරයා. සීතා කියන්නේ සෑබැ ප්‍රේමයේ ප්‍රතිමුර්තිය. එත් ඉතින් තුන් දෙනාටම ඉතිහාසයේ මොනයම් හෝ තැනක ආදරය කියන දේ වැරදුනා.


බොහොමයක් දෙනා දන්නේ රාවණා සීතා පැහැරගෙන ආවා කියල විතරයි. වෙන මිනිහෙක්ගේ බිරිඳක් උස්සන් ආපු රාවණාට ඉතින් පලු යන්න බනින ගොඩක් දෙනා රාවණා එහෙම කරේ ඇයි කියලා හොයන්න නවතිනවා හරිම අඩුයි. මිනක්ෂි (Minaxi) හෙවත් සුපර්ණකා (Surpanakha) කියන්නේ රාවණා රජතුමාගේ නැගණිය. කවුරු කොහොම කියුවත් මට නම් රාමායණය තුළ ආදරය කියන දේ වරද්දගත්තු, රාවණා වගේම ඉතිහාසයේ වැරදි ප්‍රතිරූපයක බිල්ලක් වුනු තවත් එක් අයෙක් තමයි සුපර්ණකා කියලා තමයි මගේ මතය. ඇය රූමත් කෙනෙක් නෙවෙයි. එත් ඉටි රූප වගේ හිටපු රාමාට ඇගේ හිත ගියා. එක් පත්වෘතාව (having one wife only) යන ප්‍රතිපත්තියේ හිටපු රාමා ඇයව ප්‍රතික්ෂේප කරලා ලක්ෂ්මන් වෙතට හරවල ඇරියා.ලක්ෂ්මන් ආයි රාම ගාවට හරවල ඇරියා මේ වගේ ලක්ෂ්මන් හා රාමා අතර විහිලුවට ලක් වුනු සුපර්ණකා එය තේරුම් ගත පසු ඇති වුන ආවේගයට සීතාට පහර දෙන්න හදන්නේ මේ සියල්ලට හේතුව ඇය බව හිතලා. සීතාට පහර දෙන්න හදන  බව දකින ලක්ෂ්මන් සුපර්ණකාගේ කන් දෙකයි නාහයයි කපලා දානවා කියල තමයි ඉතිහාසයේ කියවෙන්නේ. කාත් කවුරුත් නැති සුපර්ණකා දුවන් යන්නේ තමන්ගේ අයියාගාවට. රාවණා සීතා පැහැර ගන්නේ තමන්ගේ නංගිට කරපු දේට ගන්න පළියක් විදියට.


රාවණා කියන්නේ ලංකාවේ පහළ වුනා කියන බලසම්පන්නතම පාලකයා. රාවණාගේ බලය ගැන නම් වෙනම ලියන්න වෙයි, ඒ නිසා ඒ ගැන වැඩිය කියන්න යන්නෑ මෙතන. ඉතින් එහෙම පාලකයෙක්, තමන්ගේ නැගණියට මෙහෙම ඇබැද්දියක් වුනාම උඩ බලන් ඉදීවිද ? තමන්ගේ නංගිට ආදරේ කොයි අයියාත් එහෙම සමහරවිට කරාවි. අයෝධ්‍යවෙන් සීතාව පැහැරන් ආපු රාවණා ඉටි රූපයක් වගේ ලස්සන සීතාට අතවත් තියන්නෑ. තමන්ගේ සහෝදරියට කරපු දේට ගන්න පුළුවන් හොදම පලිය ඒක වෙද්දීත් රාවණා සීතාට අතවත් තියන්නෑ. තාත්තලා දුවලා දුෂණය කරන සමාජයක, කොල්ලෝ කෙල්ලෝ ආදරේ බිත්ති හතරකට කොටු කරන (hook up culture) විසි එක් වන සියවසේ අද වගේ කාලෙක, ඉතිහාසේ එක තැනක ලංකාවේ රාවණාලත් හිටියා .


රාවණා සීතාට ආදරය කළා. ලබා ගන්නත් අනෙක විද උත්සායන් දරුවා. එත් බලෙන් නෙවෙයි. එතකොට සීතා? සීතා කියන්නේ අද අපි ලක්ෂ්මි දේවිය නමින් හදුන්වන දෙවගනට. ඇයටත් පිට යන්න තිබුනා. ඇයත් ගැහැනියක් හැන්ගීම් දැනීම් තියෙන, එත් රාමගේ බිරිඳ විදියට සීතා තමන්ගේ පතිවත රැක්කා. අන්න ඒ හේතුව නිසාම තමයි ඇය පත්වෘතාවේ දෙව්දුව හැටියට හැඳින්වෙන්නේ (Goddess of Chasity ).


ඉතින් ඊට පස්සේ?


ඉතින් ඊට පස්සේ රාමා රාවණා පරද්දලා වීර චරිතයක් වෙලා සීතාව නැවත එක්කන් යනවා. සත්‍ය ප්‍රේමයේ ජයග්‍රහණය කියලා අදටත් ඒ මොහොත සමරුවට මටනම් සත්‍ය ප්‍රේමයේ මළගමදෝ කියලා හිතෙන වාර අනන්තයි.


දසරත රජතුමා රාමා වනවාසේට පිටමං කරද්දී, රාමා රජකම වෙනුවට තමන්ගේ පියරජතුමාගේ සතුට ගැන හිතලා වනවාසේට තමන්ගේ සහෝදරයා එක්ක යන්න හදද්දී, සැප සම්පත් වලින් තොරව කිසි දිනක ජිවත් නොවූ සීතත් සියල්ල අතහැර රාමා සමග වනවාසේට යනවා. ගැහැණියකගේ ප්‍රේමයට, පරිත්‍යාගයට, ඉවසීමට යශෝදරා දේවිය වගේම සීතා දේවියත් ඉතා කදිම උදාහරණයක්.


රාවණා පරද්දල නැවත අයෝධ්‍යාවට අරන් එන සීතාට රාමා මොකද කියන්නේ? පතිවත ඔප්පු කරන්න ගින්නට පනින්න කියනවා (Agni Pariksha) රජෙක්  විදියට රාමා සීතාව කොහොම විශවාස කරත්, කරා කියල කියුවත්, එදා තම පියා වෙනුවෙන් ඔටුන්න දන් දුන්න රාමා, තමා වෙනුවෙන් ජීවිතේම දන් දුන්න සීතා දේශපාලනික හා සාමාජීය බලපෑම මත තනි කරනවා.


රාමායණයට අනුව තම පතිවත ඔප්පු කරන්න ගින්නට සීතා පනිද්දී, ගිනි දැල් නෙලුම් මල් බවට පත් වුනාලු. රාමගේ පරික්ෂාව එතනින් නැවතුනේ නැහැ. ගැබිනියක්ව සිටි සීතාව රාමා වනවාසේට අරිනවා. නිවුන් දරුවන්ට උපත දෙන සීතා තම දරුවන් ඔවුන්ගේ පියා සමග එක වූ පසු  භුමිදේවතාව (mother earth) වන තම මව සමග නැවත යන්නේ රාම විසින් ඇයට නැවත අයෝධ්‍යාවට පැමිණෙන ලෙස කරන ආරාධනාව ප්‍රතික්ෂේප කරමින්.


අනේ රාවණා! ගැහැනුන් පිරිවරා, සියලු බලයෙන් හා සැප සම්පත් වලින් සන්නද්ධ වූ ඔබ තමන්ගේ නොවුන, තමන්ට කිසි දිනක පෙම් නොකළ ගැහැනියකට එක සිතින් පෙම් කර, ඇය අතින් වත් නොඅල්ලා, ඇය වෙනුවෙන් සටන් කොට, ඇය වෙනුවෙන් ඉතිහාසයේ දුෂටයෙකු වී ඇය වෙනුවෙන් මිය ගියා. සටන් කරනු වස් ඔබ ඇයට යාමට ඉඩ දුන්නා නම් ප්‍රේමයේ පරාජිත චරිතයක් ලෙස ඔබ දිස් නොවෙනු ඇත.


අනේ සීතා! රාජ කුමාරිකවක්ව ඉපිද, ඉස්තරම් රූප සම්පත්තියක් ලැබ, සියලු බලයෙන් හා සැප සම්පත් වලින් සන්නද්ධ වූ, තනි වූ ගැහැනියකට කල හැකි දහසක් වධ හිංසා තිබියදීත්, අහිංසක ප්‍රේමයක් බලාපොරොත්තුවූ රාවණා වෙනුවට ඔබත් සරින් සැරේ තම ප්‍රේමය පිවිතුරු බව ඔප්පු කරන්නට සිද්ධ වන තැනට තමා තල්ලු කරන, තමා තනි කළ රාමාට එක සිතින් පෙම් කළා. එහෙත් පතිවෘතාවේ වීරවරිය වූ ඔබ ප්‍රේමය ඉදිරිපිට හා එතුළ ජිවත් වීම තුළ පරාජය වුනා නොවේද?


අනේ රාමා! ඔබ කළ දේ ඇයි කළේ යන්නට දහසක් හේතු තිබුනද, ආදරය යන පිවිතුරු බැඳීම ඔස්සේ ඒ සියල්ල දෙස බලන කල්හී, ඔබ ගැන මට නම් කීමට කිසිත් නොමැත. ඉතිහාසයේ වීරයෙක් වූ ඔබ ප්‍රේමය ඉදිරිපිට පරාජිතයෙකි. සැ:යු ; – මෙය හුදෙක් රචකයාගේ මතය හා විචාරයක් පමණක් බව කරුණාවෙන් සලකන්න

32 views0 comments

Recent Posts

See All
bottom of page